විශිෂ්ටතම ගුවන් සේවය’ ශ්‍රි ලංකන් ගුවන් සේවය (Visitors Choice - Airline of the Year)

 ඉන්දියාවේ බැංගලෝර් හිදී 2023 ඔක්තෝබර් 10 දින පැවැත්වුණු South Asian Travel Awards (SATA) හිදී දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඇගයීමට ලක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විය. 

එමෙන්ම මෙම සම්මාන උළෙලේදී ‘ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය - ව්‍යාපාරික පන්තිය’ (Leading Airline Class - Business Class) ඇගයුම හිමිකර ගැනීමටද ශ්‍රීලංකන් ගුවන් සේවයට හැකියාව ලැබිණි. කලාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙල ලෙස සැලකෙන SATA සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරෙන අතර, එහිදී අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ඡන්ද අනුව දකුණු ආසියාවේ සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක්කෙරේ. 

පසුගිය වසරේදී පැවැත්වුණු SATA සම්මාන උළෙලේදී ‘අමුත්තන්ගේ තේරීම - වසරේ විශිෂ්ටතම ගුවන් සේවය’ (Visitors Choice - Airline of the Year)


සම්මානය හිමිකර ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වූ අතර, මෙම වසරේ සම්මානයත් සමග දකුණු ආසියානු කලාපය තුළ තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. මේ වනවිට ශ්‍රීලංකන් ගුවන් සේවය මෙරට සිට ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළුව දකුණු ආසියානු ගමනාන්තයන් වෙත සතියකට ගුවන් ගමන් වාර 140 ක් ක්‍රියාත්මක කරයි. 

ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කලාපීය කළමනාකරු රවීන්ද්‍රන් වී. මහතා මෙම ජයග්‍රහණයන් සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අපගේ උත්සාහයන් දකුණු ආසියාවේ අපගේ හවුල්කරුවන් වෙතින් මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් සතුටක්. ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් විහිදී පවතින දකුණු ආසියානු කලාපය අපගේ සාර්ථකත්වයට ලබාදෙන දායකත්වය සුළුපටු නැහැ. මේ ආකාරයට ඇගයීමට ලක්වීම, අඛණ්ඩව දකුණු ආසියාවේ පුරෝගාමියෙකු ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට සහ වර්ධනය වීමටත්, අනාගතයට කරා යන ගමනේදී අපගේ පාරිභෝගිකයින්ට සුපුරුදු පරිදි විශිෂ්ටතම සේවාවක් හා සම්බන්ධතාවක් ලබාදීමටත් අප දිරිගන්වනවා.”  

ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාත්මක කරන ගුවන් ගමන් මගින් ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි, බැංගලෝර් හා දිල්ලි, පාකිස්ථානයේ කරච්චි හා ලාහෝර්, නේපාලයේ කත්මන්ඩු සහ බංග්ලාදේශයේ ඩකා වැනි ප්‍රධාන නගර රැසක් ආවරණය වේ. එමෙන්ම මේ දක්වා මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත් යන ගමනාන්තයන් දෙකම ආවරණය කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වන්නේද ශ්‍රීලංකන් ගුවන් සේවයයි. මේ නිසා ශ්‍රීලංකන් ගුවන් සේවය යුරෝපය, මැද පෙරදිග, ඉන්දියාව සහ ඈත පෙරදිග සිට මාලදිවයින වෙත පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත් වී තිබේ.




Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more