ගායන ශිල්පියෙක් වෙන්න කලින් ගුවන් යානා නඩත්තු තාක්ෂණශිල්පියෙක්





“අඩි 17 000 දී තමයි "ඇගෙ සිනහව තහනම්" සිංදුවට තනුව දැම්මේ”

ගායන ශිල්පියෙක් වෙන්න කලින් ගුවන් යානා නඩත්තු තාක්ෂණශිල්පියෙක්

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන සිය ජීවන ගමනට සඳහටම නැවතුම් තිත තැබූ බව සඳහන් වුනා.

ඒ වන විටත් 76 වන වියේ පසුවූ ඒ මහතා අප කා අතරත් නොමැකෙන මතක සටහන් එක්කල ගායන ශිල්පියෙක්.

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වූ ඒ මහතා ගීත කලාවට එක්වීමට පාසලෙන් මෙන්ම සිය පවුලෙන් ද ලද අභාෂය ද හේතු වූ වා සේම කා අතරත් ප්‍රචලිත වුනේ නිහතමානී කලාකරුවෙකු හැටියට යි.

ජනප්‍රිය කලා කරුවෙකු මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ද නියුතු වූවෙකු ලෙස ප්‍රචලිතව සිටි ඔහු ගුවන්සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ බව දැන හඳුනන්නේ අතලොස්සක්.

වරක් මේ සබඳතාවය පිළිබඳ තොරතුරු දැනගන්නට මා ඉෂාර ගුණවර්ධන මහතාගේ ද සහයෝගය සහිතව ඔහුට දුරකථන ඇමතුමක් ලබාගතිමි, 


“60 දශකයේ මැද භාගයෙන් පස්සෙ මා පාසල් අධ්‍යාපනයට සමුදෙමින් රාජකීය ගුවන් හමුදාවට බැඳූනා, මගේ දෙමව්පියන්ට මා වැඩිදුර අධ්‍යාපනයට යොමු කරන්න කැමැත්තෙන් පසු වුනත් මගේ රැකියාවක් කිරීමට තිබූ දැඩි ආශාව නිසා තමයි එහෙම එක් වුනේ. මට ඉන් විශාල දැනුම් සම්භාරයක් ගන්න පුළුවන් වුනා වගේම පුද්ගලයෙක් හැටියට තනිවම සංවර්ධනය වෙන්න අවශ්‍ය කොහොම ද කියල බොහෝ දේ ඉගෙන ගත්තා. එහි තිබුණු ඩිසිප්ලීන් හරිම වැදගත්.

රාජකීය ගුවන් හමුදාවේ සේවය කිරීම තුලින් ලත් අභාශය හා පන්නරය තුලින් බොහොම ටික කලකින් ලංකා ගුවන් සේවය ට එක්වීමට මා වැඩි වැඩියෙන් උනන්දු කලා,

 ඒ ඔහුගෙන් පිටවූ වචන.

ඒ වෙනකොට රත්මලාන ගුවන්තොටුපොල කාලෙ හැටියට හරි කාර්යබහුලයි. ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඇතැම් යානා එහි සිට ක්‍රියාත්මක වුනා. 

එහිදී (ලංකා ගුවන් සේවයේ)  මා ගුවන්යානා නඩත්තු තාක්ෂණ ශීල්පියෙකු ලෙස 1970 වසරේ එක්වුනා. ඒ වගේම ගුවන් යානාවේ ගමන් කරන පියාසර ඉංජිනේරුවෙකු හැටියටත් මා හට පියාසර අත්දැකීම් පවා ලබාගන්න හැකිවුනා. 

ඒ වකවානුවේ ලංකා ගුවන්සේවයේ ගමනාන්ත වුන මාලේ, මැඩ්‍රාස්, ට්‍රිචී වගේ ඒවට පියාසර කල ගුවන් ගමන් වල මමත් පියාසර ඉංජිනේරුවෙක් හැටියට සම්බන්ධ වුනා.

විශේෂයෙන් මේ කාලයේ ජනප්‍රියතම යානාවක් තමයි ඇව්රෝ මාඳිළිය. එය ගුවන් භාෂාවෙන් නම් AVRO 748, මේ විදිහට 1978 වසර වගේ වන තෙක්ම ශ්‍රී ලංකා ගුවන් සේවයේ මම රාජකාරී කලා.”

ඇයි ඉන් ඉවත් වුනේ, මට තිබුනු ගැටළුව,

“මේ කාලේ එම ගුවන් සමාගම එයාර් ලංකා බවට පත්කිරීමට සූදානම් වෙමින් හිටියා, ඒ වගේම මම මේ වකවානුවේ ගායන ශිල්පියෙක් හැටියට බොහොම කාර්යබහුලයි. ඉතින් මේ කරුණු නිසා මාව ගුවන් සේවාවෙන් ඈත් කරන්න බලපෑම් කලා.”

අමතක නොවන සිදුවීම් තියෙනවා ද?

“අවස්ථාවක් කීපයක්ම තියෙනවා,

ඒ දවස්වල විවේකයක් ලැබුන සැනින් මගේ මිත්‍රයන්ට මගේන් සිංදු අහන්න ඕනැ වෙනවා. ඉතින් අපි හැග(ර්) ඒකේ නැත්නම් ගුවන් යානා පිලිසකර කරන ස්ථානය තමයි ඒ සඳහා යොදාගන්නේ. හුගක් වෙලාවට ගුවන්යානා කොටස් වල තියෙන ලෝහමය කොටස් තමයි අපේ තාල වාද්‍ය භාණ්ඩ වුනේ. 


හරිම සුන්දරයි.


ඒ වගේම තව කථාවක් තියෙනවා, 


මේ සිදුවීම උනේ 71 කැරැල්ල වෙලාවෙ, එවක පාර්ලිමේන්තු කටයුතු භාරව හිටපු ඇමතිතුමාට කොළඹින් අනුරාධපුරයට ගුවනින් යන්න උවමනා වුනා. මොකද ගොඩබිම් මාර්ග වැහිලා තිබුන නිසා. අනික එයා අනුරාධපුරය පැත්තෙ. ඉතින් ඒ කාලෙ ගුවන් හමුදාව සතුව ප්‍රමානවත් තරම් යානා තිබුනේ තිබුනේ නැහැ.


ඉතින් ඒ ඇමතිතුමා  ගුවන් සේවයෙන් ඉල්ලීමක් කලා ප්‍රවාහන පහසුකම දෙන්න කියල. පස්සෙ අප සතුව තිබුනු බීච්ක්‍රාෆ්ට් කියන යානාවක් තමයි මේ වැඩේට යොදාගන්න තීරණය කලේ. එහිදී අනුරාධපුර ධාවන පථයටත් හානිවෙලා තිබුනු බව දැනගත්තා. මේ කාලයේ උඩවලව ව්‍යාපෘතියේ මැනීම් කටයුතු වලට ඒ ගුවන් යානාව යොදාගනිමින් තිබුනේ. ඉතින් ඒ කැමරා උපකරනත් ගලවලා දාල අපි පර්යේෂණ ගනනාවකුත් කරල තමයි ගුවන් ගමනට පිටත් වුනේ.


ඒ ගමනට මා සම්බන්ධ වෙන්නත් විශේෂ හේතුවක් තිබුනා.


කඩිනමින් ඒ ගමන යන්න ඕනැ නිසා අපිට සහායක නියමුවෙක් හොයාගන්න බැරි වුනා. නියමුවා හැටියට කටයුතු කරන්න හිටියෙ ප්‍රසිද්ධ රණභාහු කියන නියමුවා (ඩඩ්ලි රණභාහු). ඉතින් ඔහු මගෙන් ඉල්ලුවා පොඩි සපෝට් එකක් දෙමුද කියල. 


කැප්ටන් මගේ හරි මිත්‍රයා. 


මමත් කැමති වුනා වැඩේට. මම මුළින් කීව වගේ අනුරාධපුරය ධාවන පථයට හානි වෙලා කෙටි දුරක් තිබුන නිසා එහෙ ලෑන්ඩ් කරල යානාව නවත්තගන්න ඕනැ නිසා මම පැඩල් එක උඩ වාඩිවෙලා තමයි අනතුරක් නොවී කෙටි ධාවන පථයේ නවත්ත ගන්න පුළුවන් වුනා.


ඒ වගේම ගුවන් යානාවේ එන්ජිම බොහෝ දෙනෙකුට ගෝෂා කාරී බවක් කීවත් මට එහි යම් නාද රටාවක් නිකුත් වන බවට යම් හැඟීමක් තිබුනා.


ගී තනු කිහිපයක්ම ගුවන් ගමන අතර තුර ලද විවේකයේ දී නිර්මානය වෙන්න ඒක හේතුවක් වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ.


“අඩි 17 000 දී තමයි "ඇගෙ සිනහව තහනම්" සිංදුවට තනුව දැම්මේ”


ඒ ඔහුගේ රසවත් අත්දැකීම්.


- ✍️ - නිලන්ත තෙන්නකෝන් - 26/03/2024 -

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more