ආගමන විගමන නිලධාරීහු අවුරුද්දට කළුපටි පලඳිති


 

අලුත් අවුරුදු සමයේ දින තුනක් විරෝධතා දැක්වීම සඳහා කළුපටි පැලැඳ සේවයේ කිරීමට ගුවන් තොටුපොළ හා වරායේ සේවය කරන ආගමන හා විගමන නිලධාරීන් තීරණය කර තිබේ.


මෙම විරෝධතාවයට හේතුව වී ඇත්තේ අලුත් අවුරුදු උත්සවය සැමරීමට නොහැකි වෙන පරිදි අප්‍රේල් මාසය සඳහා සේවා මුර ලේඛන (Duty Roster) දෙකක් නිකුත් කර තිබීමයි.


මේ අනුව අප්‍රේල් 11, 12, 13 දින තුන තුළ කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු අනෙකුත් ගුවන් හා වරාය තොටුපොළවල රාජකාරි කරන නිලධාරීන් සංකේතාත්මක විරෝධයක් පැවැත්වීමට තීරණය කර තිබිණි.


රටේ ප්‍රධානතම සංස්කෘතික හා ආගමික උත්සව පවතින සමයක දේශ සීමාවේ රාජකාරි කරන නිලධාරීන් අත්තනෝමතික ලෙස පීඩාවට පත්කිරීම පිළිබඳව ගුවන් මගීන්ට ඇතිවන අයහපත් හැඟීම හා එමගින් රටට ඇතිවන අපකීර්තිය පිළිබඳව සියලු වගකීම් ආගමන විගමන පාලක ජනරාල් දැරිය යුතු බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය ලිඛිතව දැනුම් දී ඇත.


එහි ලේකම් කේ.පී. මානවඩුගේ අත්සනින් අප්‍රේල් 5 වැනිදා සේවා මුර ලේඛන වෙනස් කිරීමට විරෝධය දක්වමින් ආගමන හා විගමන පාලක ජනරාල් වෙත යවා ඇති ලිපියට මෙම මස 10දා දහවල් වනතුරුත් පිළිතුරක් නොවිය. මෙම ලිපියේ පිටපත් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හා එහි ලේකම්වරයාටද යොමුකර තිබිණි.


වසර ගණනක් තිස්සේ අප්‍රේල් මාසයේ දිවා රාත්‍රි සේවා මුර එකතු කර පැය 24කට සීමාකරමින් සකස් කිරීම නිසා නිලධාරීන් අනෙක් නිලධාරීන් සමග සාකච්ඡා කර අවුරුදු ගමන් බිමන් යෑමට හැකි පරිදි නිවාඩු සැලසුම් කරගෙන තිබිණි. මාර්තු 28 දා ඒ සඳහා සේවා මුරය ප්‍රත්‍යන්ත පාලන නියෝජ්‍ය පාලකගේ අත්සනින් නිකුත් කර තිබිණි.


එම සේවා මුර ලේඛනය අවලංගු නොකර අප්‍රේල් 4දා තවත් සේවා මුර ලේඛනයක් නිකුත් කරමින් පැය අටකට සීමාකරමින් ලේඛනයක් නිකුත් කර ඇත.


​සේවා මුර ලේඛනය වෙනස් වීමත් සමග කලින් සැලසුම් කළ පරිදි අලුත් අවුරුදු සැමරීමට හා ගමන් බිමන් යෑමට තිබූ අවස්ථා අවහිර කරමින් සිය අයිතිවාසිකම් කඩකර නිලධාරීන් අතෘප්තියට පත්කර ඇතැයි නිලධාරීහු පෙන්වා දෙති.

Post a Comment

Related Posts

ගුවන් ගමන අතරතුර සෑම තිරයකම අසබ්‍ය  චිත්‍රපටියක් තිරගත වීමෙන් පසු මගීන් ගොළු වෙලා
Read more
ඉරාන-ඊශ්‍රායල් ගැටුම මධ්‍යයේ ශ්‍රීලංකන් ලන්ඩන් ගුවන් යානය යළි හරවා යවයි
Read more
කටාර් එයාර්වේස් විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට වරප්‍රසාද දීමනා ගාස්තු ආපසු ගෙව
Read more
ගුවන් නියමුවන් වන ෆාමි සයිනාල් සහ මෛත්‍රී ශ්‍රීක්‍රිෂ්ණා ආරක්ෂිත ගොඩබෑමෙන් පසු ට්‍රිචි ගුවන් තොටුපළෙන් පිටව යයි
Read more